Friday, April 26, 2024

General line - 0115112241

කැනඩා මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ටෲඩෝගේ පක්ෂයට ජය හිමිවන ලකුණු




කැනඩාවේ මහ මැතිවරණය මේවනවිට පැවැත්වෙනවා. ඒ, එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 338 ක් වෙනුවෙන් නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහායි. 

කොරෝනා වසංගතය හේතුවෙන් මුහුණ පා සිටින ගැටළු මධ්‍යයේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් මෙම මහ මැතිවරණය කැඳවූයේ නියමිත කාලයට පෙර වීම විශේෂත්වයක්. 

ඒ අනුව ඇතැම් කැනේඩියානුවන් මෙම ඉක්මන් මැතිවරණය සඳහා සිය විරෝධය පළ කර තිබෙනවා. 

පූර්ව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය මහ මැතිවරණයෙන් ජයගනු ඇති බවයි. 

කෙසේවෙතත් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට ලිබරල් පක්ෂය අපොහොසත් වනු ඇති බවයි පැවසෙන්නේ. 

එසේ වුවහොත් ඉක්මන් මැතිවරණයක් කැඳවා බහුතර බලය ද ලබා ගැනීමට අපොහොසත්වීම හමුවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට පක්ෂය තුළ අර්බුද රැසකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට ද දේශපාලන විචාරකයින් මත පළ කර තිබෙනවා. 

කැනඩා පාර්ලිමේන්තුවේ බහතුර බලය හිමිකර ගැනීමට නම් පාලක ලිබරල් පක්ෂය ආසන 170 ක් හිමිකර ගත යුතු වනවා. පූර්ව මැතිවරණ සමීක්ෂණ වලට අනුව එම පක්ෂය ආසන 150 ක් හිමිකර ගනු ඇති බවටටයි මේවනවිට මත පළව ඇත්තේ.