Saturday, April 27, 2024

General line - 0115112241

"සුජීවා ඇතින්නිය" සහ ඇයගේ පැටවා ගැන අධිකරණ දුන් තීන්දුව

අධිකරණ වාර්තාකරු




මෑතකදී අධිකරණ නියෝග මත මුදා හරින ලද අලින් 15 අතර සිටින "සුජීවා" නැමැති ඇතින්නිය සහ ඇයගේ මාස තුනක් වයසැති පැටවා වෙනත් කිසිදු පාර්ශවයකට මුදා නොහැර තවදුරටත්  වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන ලෙසට අභියාචනාධිකරණය අද  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පාර්ශව කීපයක් වෙත නියෝග කරනු ලැබුවා.

මෙම නියෝගය සැප්තැම්බර් මස 29 දා තෙක් බලපැවැත්වෙනු ඇත.

ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සත්ත්වයින් උදෙසා යුක්තිය නමැති සංවිධානය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, අධිකරණය හමුවේ කරුණු දක්වමින් බලපත්‍ර නොමැති කම හේතුවෙන් වනජීවී දපාර්තමේන්තුව භාරයට ගත් අලි ඇතුන් 15 දෙනකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා නියෝගයක් නිකුත් කර ඇති බවයි.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද ඉල්ලීමකට අනුව අදාල මහේස්ත්‍රාත්වරු විසින් මෙම නියෝගය සිදු කොට ඇතැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා අදාල මහේස්ත්‍රාත්වරු විසින් අලි ඇතුන් මුදාහරණ ලෙස දුන් නියෝගය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනි බව ද සඳහන් කර සිටියා.

එසේ මුදා හරින  ලෙස නියම කර ඇති අලි ඇතුළු පිරිස අතර සිටින "සූජීවා" නමැති ඇතින්නිය සහ ඇයගේ මාස හතක් වයසැති පැටවා මුල් අයිතිකරුවන්ට මුදා හරිනු ලැබූවොත් දැඩි අගතියක් සිදු විය හැකි බවයි ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියා.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම ඇතින්න සහ පැටවා තවදුරටත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගන්නා ලෙසට නියෝග කරන ලදී . නඩුව සැප්තැම්බර් මස 29 දා කැඳවීමට නියමිතයි.