Friday, April 26, 2024

General line - 0115112241

වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අවසර හිමි වෙයි




මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා. 

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළේ වෙලේ සුදා නැමැත්තාගේ මව විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී ඇති  විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහුගේ මව විසින් මෙම රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

වෙලේ සුදා නමැත්තා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ, තම පුත්‍රයාට මරණ තර්ජන පවතින බැවින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස වෙලේ සුදාගේ මව විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අනුවයි.

එම නියෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමටද බාධාවක් වී ඇති බවයි වෙලේ සුදාගේ මව මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ. කෙසේවෙතත් පෙර නියෝගය අනුව වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පිටතට රැගෙන යාමට බාධාවක් නොවන බවයි අභියාචනාධිකරණය එහිදී අවධාරණය කර ඇත්තේ.