Friday, April 26, 2024

General line - 0115112241

මහ බැංකු අධිපතිගේ පත්වීමට එරෙහිව තවත් පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. 

එහි දැක්වෙන්නේ මහ බැංකුවේ පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකුට අධිපතිධූරයට පත්විය නොහැකි බවයි. එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙකු බව මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් දක්වා තිබෙනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ එහි ආරම්භක සාමාජිකයෙකු වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය ආමාත්‍ය ධූරයක් දැරූ බවත්, එම ධුරයෙන් ඉල්ලා අස්වූ දිනම රාත්‍රියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් පෙත්සමේ සදහන්. 

බැදුම්කර වංචාව සම්න්ධයෙන් පැවැත්වූ ව්‍යෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශණ කර ඇති බවද, මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් දක්වා තිබෙනවා. මෙවැනි පුද්ගලයෙකු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන ලෙසයි මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.