Friday, April 26, 2024

General line - 0115112241

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩිවෙයි ද? තීරණය අද




කිරිපිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, අද රැස්වන ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි. මෙහිදී සීනි යළි ආනයනය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතයි. 

මේ වන විට සීනි ආනයනය නතර කර ඇති අතර තවදුරටත් එසේ කළහොත් ඉදිරියේදී සීනි හිඟයක් ඇතිවීමේ අවධානමක් ඇති බව නෙත් නිවුස් ඉකුත් සතියේදී පෙන්වා දුන්නා. මේ වන විට රට තුළ ඇත්තේ මාස එක හමාරකට ප්‍රමාණවත් සීනි තොග පමණයි. 

මීට අමතරව සහල්, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණය කිරීමටයි නියමිතව ඇත්තේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 800 ක් පමණ මේ වන විට නිෂ්කාශණය කර ගැනීමට නොහැකිව වරාය තුළ පවතින බවයි. පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු වෙයිද ? පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

ජීවන වියදම් කමිටු රැස්වීම අද පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.