Saturday, April 27, 2024

General line - 0115112241

මෙවර අයි පී එල් ශූරතාව දෝනිගේ චෙන්නායි පිලට




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් මහා  තරගයේදී බොලිවුඞ් සුපිරි නලූ ෂාරුක්ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමින්. 

ඩුබායි හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත්වුණා.  

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කදී ලකුණු 86ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්. මොයීන් අලී පන්දු 20කදී නොදැවී ලකුණු 37 යි. පන්දු යැවීමේ දී සුනිල් නරීන් කඩුලූ 2ක් හා ශිවම් මාවි එක් කඩුල්ලක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම කි්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි. ආරම්භක කඩුල්ල සදහා වෙන්කටේෂ් අයියර් හා ෂුබ්මන් ගිල් ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් කොල්කටා කණ්ඩායමට පරාජය අත්වුණා. 

අයියර් ලකුණු පන්දු 32කදී ලකුණු 50ක් රැස් කළ අතර ෂුබ්මන් ගිල් පන්දු 43කදී ලකුණු 53ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් හැරුණු විට කොල්කටා කණ්ඩායමේ ලකුණු 10 සීමාව පසු කළේ ශිවම් මාවි හා ලූකී ෆර්ගියුසන් පමණයි.  

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලූ 3ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඞ් හා රවීන්ද්‍ර ජඬේජා කඩුලූ 2 බැගින් දවා ගත්තා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3කදී අයි.පී.එල් ශූරතාව දිනා ගෙන තිබෙනවා. ඒ, 2010, 2011 හා 2018 යන වසරවලදීයි.