Friday, April 26, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් සොයා ගනියි




කොරෝනා ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් දකුණු ආසියාවේ ජීවත්වෙන පුද්ගලයින් ගෙන් සොයාගැනීමට බ්‍රිතානයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වී තිබේ.

මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව අනාවරණ වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙම ජානය යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙන බවත්, අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ඔක්ස්ෆඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ඩේවිස් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයෙන් ඇතැම් ජන ප්‍රජාවන් වැඩි අවදානමකට ලක්වීම වටහාගත යුතු කරුණක් බවයි.

මෙම ජානය මගින් කොරෝනා වෛරසය පෙනහලුවලට ආසාදනය වීම පහසු කරන්නේ එය වැළැක්වීමේ යාන්ත්‍රණය අක්‍රිය කිරීමෙන්. එහෙත් එමඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරන්නේ නැහැ.

කෙසේ වුවත් එන්නත්කරණය තුළින් තවදුරටත් මෙම අවදානම වළක්වාගත හැකි බවයි ඔක්ස්ෆඩ් විද්‍යාඥයින් අවධාරණය කර සිටියේ.