Saturday, April 27, 2024

General line - 0115112241

ලබන වසරේදීත් ශ්‍රී ලංකා පිළ සුදුසුකම් ලැබීමේ වටයට




ලබන වසරේ ඕස්ටේ්‍රලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. 

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 38 වන තරගය වූ ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් අනතුරුවයි. 

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදීද සුපිරි 12 දෙනගේ වටයට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.  

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලබන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක හා ලබන 15 වැනිදා වන විට 20යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 6යි. කොදෙව් කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමග ඔවුන් මේ වන විට පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 10 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ පසුවනවා. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගෙන ඇති කණ්ඩායම් වන්නේ සත්කාරක ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාවට අමතරව බටහිර ඉන්දීය කොදෙව්, නැමීබියාව හා ස්කොට්ලන්තයට ලබන වසරේ  විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයේ සිට තරග කිරීමට සිදුවනවා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වැඩි ජයග්‍රහණ අත්කරගන්නා  කණ්ඩායම් 4 පළමු වටයට සුදුසුකම් ලබනු ඇති. 2022 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ   ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාසවලදී ඔස්ටේ්‍රලියාවේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.