Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොද කරමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට




මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය අද සමත් වුණා. 

ඒ, තරගාවලියේ 40 වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්. ඒ අනුව ඉන්දියාවට සුපිරි 12 වටයෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, දෙවැනි කාණ්ඩයෙන් පාකිස්තානය හා නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි. 

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී නජිබුල්ලා සඩ්රාන් පන්දු 48කින් වේගවත් ලකුණු 73ක් රැස් කරමින් ඇෆ්ඝනිස්තානය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. පන්දු යැවීමේ දී ට්‍රනේට් බෝල්ට් කඩුලු 3ක් හා ටිම් සවුති කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියා.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 40ක් හා ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා. මාර්ටින් ගප්ටිල් ලකුණු 28යි. 

පන්දු යැවීමේ දී මුජීබ් රෙහ්මාන් හා රෂීඩ් ඛාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.