Friday, April 26, 2024

General line - 0115112241

LPL වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 300ක්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද සිදු කෙරෙනවා.

ක්‍රීඩකයින් තෝරා ගැනීම ඉකුත් 5 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ අතර එය අද දින දක්වා කල් දැමීමටයි තරගාවලි සංවිධායකයින් තීරණය කළේ.

ඒ, කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බලමින්. ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව සදහා විදෙස් ක්‍රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු ඉදිරිපත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කෙරෙන අතර එම අවස්ථාවට කණ්ඩායම් පහේ හිමිකරුවන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් එක් වීමට නියමිතයි. ක්‍රීඩක තෝරා ගැනීම වට 20කින් යුක්ත වන අතර, කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කෙරෙනවා. ඒ අතරින් කාණ්ඩ දෙකක් මෙරට නවක ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

 එක් සංචිතයක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි.
අවශ්‍යනම් පසුගිය වසරේ අදාළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු ද සිය සංචිතයේ රදවා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.