Saturday, April 27, 2024

General line - 0115112241

ඩෙල්ටාවට වඩා ඔමික්‍රෝන් වේගවත් : වසංගතවේද විද්‍යාඥයෙක් කියයි




ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්ප්‍රේෂණ හැකියාව වේගවත් බවට දකුණු අප්‍රිකාවේ වසංගතවේදය පිලිබඳ විද්‍යාඥයෙකු මෙන්ම එරට අමාත්‍ය උපදේශක කමිටුවේ හිටපු ප්‍රධානි සලීම් අබ්දුල් කරීම් ප්‍රකාශ කර සිටිනවා. එරටින් මේ දක්වා ලැබී ඇති දත්ත පදනම් කර ගනිමින් ඔහු මේ බව සඳහන් කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නව වෛරස් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට නම් තවත් සති 02 ක පමණ කාලයක් ගත වෙනු ඇති බවයි CNN පුවත් සේවය සමග එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

"ඉතා සරලව පැවසුවොත්, මෙම නව ප්‍රභේදය වන ඔමික්‍රොන් සහ මිට පෙර වාර්තා වූ අනෙක් කොවිඩ් ප්‍රභේද හතරට පොදු වූ විකෘතිතා පෙන්නුම් කරනවා. ඒ නිසා නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සමාන විකෘති පවතින නිසා එය වේගයෙන් සම්ප්‍රේෂණය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා" සලීම් අබ්දුල් කරීම් ප්‍රකාශ කර සිටියා.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොවිඩ් ප්‍රභේදයේ දී දක්නට ලැබුණු එන්නත් ප්‍රතිශක්තිකරණය අභිබවා යෑමේ හැකියාව ඔමික්‍රෝන් වෛරසයෙන් ද පෙන්නුම් කරනු ලබන බවත් සියලු කරුණු සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමට අවම වශයෙන් තවත් සති දෙකක පමණක් කාලයක් ගත වෙනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර වාර්තා වන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමද අපහසු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.