Friday, April 26, 2024

General line - 0115112241

අභිනව අමරපුර මහ නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වෙයි




ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර  ප්‍රධානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. 

ජනාධිපතිවරයා විසින් මහ නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අග්‍රාමාත්‍යවරයා විසින් උන්වහන්සේට විජිනි පත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් එහිදී සිදු කෙරුණා. නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහ නාහිමිපාණන් වහන්සේ කළ දීර්ඝ කැපකිරීම බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට පාත්‍ර වන බවයි උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.  

සුනාමි ඛේදවාචකයෙන් හානි සිදු වූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැගීමට අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් ලබාදුන් සහාය ශාසනයේ පැවැත්මට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ උන්නතියට හේතු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා. 

මහානායක හා අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මැතිඇමතිවරුන් පිරිසක් සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරත් සඳහන් කළේ.