Saturday, April 27, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය දරුණු වුවහොත් විය හැකි අනතුරක් නීතිඥ සංගමය පෙන්වයි




ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය හා එමගින් නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජනයාගේ ජීවන තත්ත්වයට සිදුවන බලපෑම් කෙරෙහි සිය බලවත් අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. 

රජය ප්‍රමාදයකින් තොරව ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබෙන බව උද්ගත වෙමින් තිබෙන විවිධ ගැටලු මගින් පෙන්නුම් කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. 

සීඝ්‍රයෙන් වර්ධනය වන උද්ධමනය, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය, විදේශ විනිමය හිගය, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම, විදුලිය කපා හැරීම වැනි කරුණු මගින් එය පැහැදිලිවන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ “ආර්ථිකය පිළිබඳ ප්‍රකාශයේ” දැක්වෙනවා. 

ආර්ථිකයේ සිදුවන පරිහානිය හේතුවෙන් නීතියේ ආධිපත්‍යයට හා රාජ්‍ය පාලනයට දුරදිග යන්නා වූ අයහපත් ප්‍රතිඵල ඇති විය හැකි බවද එම ප්‍රකාශයේ සදඟන් වනවා. භයානකම තත්ත්වයකදී ආර්ථික පරිහානිය හේතුවෙන් නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

මෙම තත්ත්වයන් තුළදී දැනුවත්, ස්වාධීන හා අපක්ෂපාතී දේශීය හා විදේශීය විශේෂඥවරුන් සහ පවතින අර්බුදයට විසදුම් ලබා දීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් හා විශේෂඥ තාක්ෂණික දැනුම ලබා දිය හැකි පිළිගත් බහු පාර්ශවීය ආයතන වෙතින් සහය ලබා ගන්නා ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා තිබෙනවා.