Friday, April 26, 2024

General line - 0115112241

විදුලිය නිපදවන්න දින 08 කට ඩීසල් ලැබෙයි - දැවි තෙල් අද රාත්‍රියට පමණයි




විදුලි උත්පාදනය සඳහා කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් මෙටි්‍රක් ටොන් 10,000 ක් මේවනවිට සම්පූර්ණයෙන්ම ලබාදී තිබෙනවා. 

ඒ අනුව එම බලාගාරයෙන් උපරිම අයුරෙන් විදුලිය උත්පාදනය කළ හැකි බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම අවස්ථා 02 කදී කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු බිඳ වැටුණා. 

පළමුවරට ඊයේ රාත්‍රී 10 ට මෙගාවොට් 163 ක් උත්පාදනය කරන බලාගාරය බිඳ වැටුනු අතර අද පෙරවරුවේ මෙගාවොට් 115 ක් උත්පාදනය කරන අනෙක් බලාගාරය ද බිඳ වැටුණු බවයි විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා පැවසුවේ. 

මෙම බලාගාර 02 ම මේවනවිට යථාතත්ත්වයට පත් කර තිබෙනවා. 

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ ලැබී ඇති ඩීසල් තොගය දින 08 කට විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් බවයි. 

එහෙත් සපුගස්කන්ද බලාගාරයේ දැවිතෙල් ප්‍රමාණවත් වන්නේ අද රාත්‍රියට පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් දිනකට මෙගාවොට් 286 ක් ජාතික පද්ධතියට එක්කරන අතර සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 108 ක් ජාතික පද්ධතියට එක් කරනවා.

කෙසේවෙතත්, සපුගස්කන්ද පළමු බලාගාරයේ විදුලි ජනනය සඳහා පැවැති දැවි තෙල් අවසන් වී තිබෙනවා. 

සපුගස්කන්ද දෙවන බලාගාරයේ විදුලි ජනනය සඳහා දැනට පවතින දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ තවත් පැය කිහිපයකට පමණයි. විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පැවසුවේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි. 

මේවනවිට මතුව ඇති විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව වූයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රියවී ඇති මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන ජනන යන්ත්‍රයේ බිදවැටීමයි. 

එය යථා තත්ත්වයට පත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පැවසුවේ. 

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු විදුලි උත්පාදනය කිරීමට සිදුව ඇත්තේ ඩීසල් සහ දැවි තෙල්වලින්. එහෙත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති බැවින් දැවි තෙල් ලබා ගැනීම ද ගැටලුවක් වී තිබෙනවා. 

ඩීසල් ලබා ගැනීම අර්බුදයක් බවට පත්වුණේ ඩොලර් ලබා දෙනතුරු ඩීසල් ලබාදිය නොහැකි බවට බලශක්ති අමාත්‍යංශය විදුලිබල අමාත්‍යංශය වෙත දැනුම්දීමත් සමඟයි.