Wednesday, May 8, 2024

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන් තවත් වර්ජනයකට සැරසෙයි




ඉදිරියේදී තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානම් වනවා. එහි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු නොකිරීම ඊට ප්‍රධාන හේතුවී ඇති බවයි.

සිය ඉල්ලීම් නැවතත් දුම්රිය බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඊට විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා. 

සිය දෙපාර්තමේන්තුව ජාත්‍යන්තරයේ ද අපකීර්තියට පත්වන අයුරින් දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කළේ.

ඉල්ලීම් 25 ක් මුල්කර ගනිමින් ඉකුත් දෙසැම්බර් 24 වනදා සිට 28 වනදා දක්වා දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක නිරත වුණා. ඒ හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන්, පාර්සල් භාරගැනීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් වුණා. දින 04 ක් පුරා පැවැති වර්ජනය හේතුවෙන් ඉන්ධන, සිමෙන්ති හා තිරිගු පිටි ප්‍රවාහනය ද ඇණ හිටියා. එම කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 16 ක පමණ පාඩුවක් සිදුවූ බවයි දුම්රිය පාලනාධිකාරිය සඳහන් කළේ.