Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටය අද




ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන අදියරේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. එහි පළමු අදියර පැවැත්වුණේ ඉකුත් 10 වනදායි. මෙවර ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 12 ක්. එම අපේක්ෂකයින් අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ද වනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 49 ක්. මෙවර ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා සමග කරට කර සටන නිරත වී සිටින්නේ දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂිකා ලී පෙන්. 

එරට වේලාවෙන් අද උදෑසන 08 ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැය 12 ක කාලයක් හිමිවනවා. ඡන්ද ප්‍රථිපල කෙසේවුවත් ජනාධිපති එම්මානුවෙල් මැක්රන් අද පස්වරුවේ අයිෆල් කුළුණ අභියස සිට සිය ඡන්ද දායකයින් ඇමතීමට ද නියමිත බවයි වාර්තා වන්නේ. 

2017 වසරේදී ජාත්‍යන්තරයේම අවදානය දිනා ගනිමින් ප්‍රංශයේ ජනාධිපති ලෙස පත්වූ මැක්රන් පසුව සිය ආර්ථික ප්‍රතිපත්ති හා කොරෝනා රෙගුලාසි ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාවගෙන් දැඩි චෝදනාවලට ලක්වුණා. මේවනවිට ප්‍රංශය තුළ ඔහුගේ ජනප්‍රියත්වය ද අඩුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේවෙතත් ඔහුට මෙවර ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් හිමිවනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළා. 

ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මෙවර ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජයගත හොත් දශක 02 ක කාලය තුළ දෙවන වරටත් ප්‍රංශයේ ජනාධිපතිවරයා වූ පළමු පුද්ගලයා ලෙස ඉතිහාස ගත වනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

කෙසේවෙතත් ඔහුගේ ප්‍රභල ප්‍රතිවාදී අපේක්ෂක දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂිකා ලී පෙන් ප්‍රංශ ජනාධිපතිවරණයක් සඳහා තරග වදින 03 වන අවස්ථාව මෙයයි. ඒ අනුව මෙවර ජනාධිපතිධූරය නොලැබුණහොත් එම ධූරයට තේරී පත්වීම සඳහා ඇයට තිබූ අවසාන අවස්ථාව ද ගිලිහී යනු ඇති.