Saturday, April 27, 2024

General line - 0115112241

බීජිං නගරයේ පොදු ස්ථානවලට ප්‍රවේශය සඳහා කොරෝනා පරීක්ෂණ අනිවාර්යය කෙරේ




චීනයේ බීජිං අගනුවර ක්‍රියාත්මක කොවිඩ් රෙගුලාසි තවදුරටත් දැඩි කර තිබෙනවා. ඒ අනුව පොදු ස්ථානවලට ඇතුළුවන්නේ නම් බීජිං අගනුවර වැසියන් ඔවුන් කොරෝනා ආසාදනය වී නොමැති බවට පරීක්ෂණ වාර්තා මගින් ඉදිරිපත් කළ යුතු බවටයි චීන බලධාරීන් කොන්දේසි පනවා ඇත්තේ.  

එම නව රෙගුලාසිය කොපමණ කලකට වලංගු ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැහැ. ලෝක කම්කරු දිනයට සාපේක්ෂව බීජිං වැසියන්ට ඊයේ සිට දින 05 ක නිවාඩුවක් හිමිව තිබෙනවා. එම නිවාඩුව ආරම්භයත් සමගයි අදාළ නව රෙගුලාසිය හඳුන්වාදී ඇත්තේ. 

මේ අතර එළඹෙන 05 වනදා සිට බීජිං වැසියන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නම් එම අවස්ථාවේදීත් ඔවුන් කොරෝනා ආසාදිත නොවන බවට තහවුරු කළ යුතු වනවා. එමෙන්ම අද සිට ලබන 04 වනදා දක්වා බීජිං නුවර සියලු අවන්හල් වසා තැබෙනු ඇති. එම දිනවලදී සිය නිවෙස්වල ආහාර පිස ගන්නා ලෙයසි බීජිං බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ. 

චීනය මේවනවිට තවත් කොරෝනා රැල්ලකට මුහුණ දෙමින් සිටින අතර එය පාලනය කිරීම සඳහා රට තුළ දැඩි රෙගුලාසි ක්‍රියාත්මකයි. එම රෙගුලාසි හමුවේ බීජිං වැසියන් මානුෂීය ගැටළු රැසකට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.