Saturday, April 27, 2024

General line - 0115112241

අල්ලස් චෝදනාවෙන් වෙල්ගම නිදහස්




ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු කළේයැයි චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවෙන් ඔහු අද නිදහස් කෙරුණා. ඒ, නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

විත්තිකාර කුමාර වෙල්ගම මීට පෙර අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකරමින් පැවසුවේ මෙම නඩුව පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය ඉදිරිපත් කර නොමැති බවයි. එබැවින් එය පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු විරෝධතා මතු කළා. 

ඒ අනුව අදාළ විරෝධතාවය මත අල්ලස් කොමිසම විසින් යළි නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් එය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නා. අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දුන් අධිකරණය අනතුරුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා නිදහස් කළා.

ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30 ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබුණා.