Saturday, April 27, 2024

General line - 0115112241

නිසි ක්‍රමවේදයකට ඉන්ධන නොලැබීමෙන් පොලීසියේ සහ සෞඛ්‍ය සේවාවලට තවදුරටත් බාධා




පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පොලිස් නිලධාරීන් ඉන්ධන ලබාගැනීමේදී දැඩි අපහසුතාවන්ට පවත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ සෑම පොලිස් ස්ථානයක් සදහාම ඉන්ධන ලබාගැනීම සදහා පිරවුම්හලක් නම් කිරීමයි. 

ඒ අනුව පොලිස් ජීප් රථයක් සදහා මසකට ඩීසල් ලීටර් 300 ක්, එන්ජින් ධාරිතාව වැඩි යතුරු පැදි සදහා මසකට පෙට්‍රල් ලීටර් 30 ක් සහ  අඩු එන්ජින් ධාරිතාව සහිත යතුරු පැදි සදහා පෙට්‍රල් ලීටර් 20 ක් ලබාදීම සිදුවුණා.  

එලෙස නම් කරන ලද ඉන්ධන පිරවුම්හලකින් පොලිස් නිලධාරීන් ඉන්ධන ලබාගන්නා අතර අදාළ පොලීසියේ ගණකාධිකාරිවරයා විසින් පසුව එම පිරවුම්හලට මුදල් ගෙවීම සිදුකරනවා. එහෙත් පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එලෙස නම් කරන ලද බොහෝ පිරවුම්හල්වල මේ වනවිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් රාජකාරී කටයුතු නිසි පරිදි සිදු කිරීමට බොහෝ පොලිස් ස්ථානවල නිලධාරීන්ට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. 

මේ වනවිට පොලිස් ස්ථාන සදහා මසකට ලබාදුන් එම ඉන්ධන සීමාව ජීප් රථයක් සදහා ඩීසල් ලීටර් 150 ක්, එන්ජින් ධාරිතාව වැඩි යතුරු පැදි සදහා පෙට්‍රල් ලීටර් 20 ක් සහ  අඩු එන්ජින් ධාරිතාව සහිත යතුරු පැදි සදහා පෙට්‍රල් ලීටර් 15 ක් ලෙස අඩු කර තිබෙනවා.

කෙසේවෙතත් වෙනත් ඉන්ධන පිරවුම්හලකින් හෝ මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට පොලීසිය කටයුතු කළද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඒ සදහා මහජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්. 

මේ හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවලට 119 හදිසි ඇමතුම් ඒකකයෙන් ලැබෙන පැමිණිලිවලට අදාළව කටයුතු කිරීමට නොහැකි වී තිබෙනවා. එමෙන්ම පොලිස් විමර්ශන සදහා මෙන්ම අපරාධ මැඩලීම සදහා ද පොලිස් නිලධාරීන්ට රාජකාරී කටයුතු වෙනුවෙන් යාමට ද නොහැකි වී ඇත්තේ පවතින මෙම ගැටළු හේතුවෙන්. එබැවින් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බාධාවකින් තොරව තමන්ට ඉන්ධන ලබාගැනීම අවස්ථාව සලසා දෙන්නැයි පොලිස් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.

මේ අතර වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නිසි ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට තවමත් හැකි වී නැහැ. මේ හේතුවෙන් තම සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට තවදුරටත් බාධා එල්ලවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.