Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි




ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක්. 

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් 22 වනදා ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 27 වනදා ඔහු රෝහල්ගතව තිබුණා. එහිදී සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඔහු මන්කි පොක්ස් ආසාදිතයෙකු බවයි. 

කෙසේවෙතත් අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවලදී අනාවරණ වී ඇත්තේ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ඉකුත් 19 වනදා සිදුකළ පරීක්‍ෂණයකදී ද මන්කි පොක්ස්  ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි. එවැනි අවදානම් තත්ත්වයක පසුවද්දී ඔහු ඉන්දියාවට පැමිණ ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ද දැඩි අවදානයක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාවෙන් මේ වනවිට මන්කි පොක්ස් ආසාදිතයින් පස් දෙනෙකු හදුනාගෙන තිබෙනවා. 

ඉන් සිව් දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හමුවී ඇති අතර එක් අයෙකු දිල්ලියෙන් වාර්තා වුණා. දිල්ලියෙන් වාර්තා වූ මන්කි පොක්ස් ආසාදිතයා විදෙස් රටක සංචාරය කර නොමැති පුද්ගලයෙකුවීම ඉන්දිය සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට යොමු වී තිබෙනවා.