Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකානු කථානායකවරිය දකුණු කොරියාවට - චීන හමුදාව තායිවානය වට කරයි




චීනයේ දැඩි විරෝධය හා අනතුරු ඇගවීම් මධ්‍යයේ සිදුකළ අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය අද පස්වරුවේ නිමා වුණා. ඒ අනුව ඇය අද තායිවානයෙන් පිටවී දකුණු කොරියාව බලා පිටත්ව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

තායිවානයට අවට මුහුදු සීමාවේ හා එරට ගුවන් සීමාවේ ද චීනය විසින් යුද අභ්‍යාසයක් සිදුකරමින් සිටියත් අමෙරිකාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ කථානායකවරිය රැගත් අමෙරිකානු හමුදා ගුවන් යානය දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේවෙතත් මෙම සංචාරයෙන් දැඩි ලෙස උදහසට ලක් කර සිටින චීනය තායිවාන මුහුදු සීමාව වටකරමින් සිය යුද අභ්‍යාසය සිදුකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එම වාර්තා අනාවරණ කරන පරිදි තායිවාන මුහුදු සීමාවට ඉතා ආසන්න ස්ථාන 06 කදී චීනය මෙම යුද අභ්‍යාසයේ නිරත වී සිටිනවා. ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ තායිවානය බාහිර ලෝකයෙන් දුරස් කිරීමට චීනය උත්සහ දරමින් සිටින බවයි. චීනයේ මෙම ක්‍රියාකලාපය නැව් සහ ගුවන් ගමනාගමනය අවහිර කිරීමකට සමාන  බවද  විචාරකයින් පවසනවා. 

මේ අතර අමෙරිකානු කථානායකවරියාගේ සංචාරයට විරෝධය පෑමක් ලෙස තායිවානයට එරෙහි වෙළඳ සීමා පැනවීමටයි චීනය කටයුතු කරමින් ඇත්තේ. එහි එක් අදියරක් ලෙස තායිවානය වෙත සිදුකරන වැලි අපනයනය අත්හිටුවීමට චීනයේ වාණිජ හා රේගු බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම තායිවානයෙන් පළතුරු හා මාළු වර්ග ආනයනය අත්හිටුවීමට ද චීනය මේවනවිටත් පියවර ගෙන ඇතැයි සඳහන්. ඊට අමතරව අපනයන ලියාපදිංචිය අලුත් කිරීමට අපොහොසත් වූ තායිවාන ආහාර සන්නාම 100 කට වැඩි ප්‍රමාණයක් අසාදු ලේඛනගත කිරීමට ද චීනය පියවර ගෙන තිබෙනවා.