Saturday, April 27, 2024

General line - 0115112241

අවසන් මොහොතේ ගල් අගුරු ටෙන්ඩරය නැති වෙයි - ශ්‍රී ලංකාව ණයට අළුත් සැපයුම්කරුවෙක් සොයයි




මෙරට විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අගුරු දීර්ඝ කාලීනව ලබාගැනීම සඳහා අළුතින් ටෙන්ඩර් කැඳවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිගුකාලීන ණය පදනමක් මත ගල් අගුරු සැපයීනමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසමින් ජාත්‍යන්තර විවෘත තරගකාරී නව ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කිරීමටයි ගල් අගුරු සමාගම තීරණය කර ඇත්තේ. 

දැනට මතුව ඇති ගල් අගුරු හිගය මගහරවා ගැනීම සඳහා ඉකුත් වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත නෞකා 19 ක ගල් අගුරු තොග කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර අද පැවසුවා. පවතින ගල් අගුරු අර්බුදය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළා. 

මේ අතර අගෝස්තු 25 වනදා ප්‍රදානය කළ ගල් අගුරු ටෙන්ඩරය අත්හිටුවීමට පියවර ගත් බව අමාත්‍ය කංචන විජේසේකර අද පැවසුවා. ඔවුන් පැවසුවේ තෝරා ගත් සැපයුම්කරු අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බවට අමාත්‍යංශයට දැනුම් දී ඇති බවයි. නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් එම සමාගම අදාළ තීරණය ගෙන ඇති බව දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා පැවසුවා.