Saturday, April 27, 2024

General line - 0115112241

ජපන් සහ පිලිපීන සංචාර නිමා කළ ජනපති යළි දිවයිනට

ටී කේ ජී කපිල




නිල සංචාරයක් සදහා ජපානයට හා ඉන් පසුව පිලිපීනයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස එම සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණියා.  

කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ජනාධීපතිවරයා ඇතුළු ධූර පිරිස සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ රාත්‍රී 11 යි 35 ට දිවයිනට පැමිණි බවයි.

පළමුව ජපානයට ගිය ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත එරට හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ද සහභාගී වුණා. ඉන් අනතුරුව ජපන් රජයේ බලධාරීන් කිහිපදෙනෙකු සමග ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ මෙරටට ලබාගත හැකි සහයන් පිළිබඳ සාකච්ඡා කළා.

ඉන් අනතුරුව පිලිපීනය බලා ගිය ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එරට ජනාධිපතිවරයා මෙන්ම තවත් නියෝජිතයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වුවා. පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැති ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ මුලසුන හෙබවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන සැසිය අමතනු ලැබුවා.