Friday, May 30, 2025

General line - 0115112241

හිටපු මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි නඩුවක් කල් යයි

උදය කුමාර



හිටපු මුදල් අමාත්‍ය රවී කරණායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව ලබන සැප්තැම්බර් මස 22 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ මෙම නඩුව අද  කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී  විත්තිකාර රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියා.

එහිදී විත්තිකාර රවිකරණායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින්  මෙම නඩුවක් ගොනුකර තිබෙන ආකාරය අභියෝගයට ලක් කරමින් සිය සේවාදායකයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීන්දුව මෙතෙක් නිකුත් වී නොමැති බවත් සඳහන් කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් අනතුරුව මෙම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුව යළි ලබන සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ  "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි අංක 5 PH2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබෙනවා.

එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත් වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනා වල සඳහන් වෙනවා.

එම ක්‍රියාවලිය සඳහා ආධාර අනුබල දීම තුළින් මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව ද අල්ලස් පනතේ 19(ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි අධි චෝදනා එල්ල කර තිබෙනවා.