ලෝකයේම දැඩි කතාබහක් ඇති කරමින් ලෝකයටම බලපාන පරිදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ බදුවලට එරෙහිව අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින්ම තීන්දුවක් ලබාදී තිබෙනවා.
මෑන්හැටන්හී ජාත්‍යන්තර වෙළඳ අධිකරණය තීන්දු කර ඇත්තේ ට්‍රම්ප් විසින් ගෝලීය තීරුබදු පැනවීමෙන් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම අධිකරණ තීන්දුවෙන් අමෙරිකානු ජනාධිපතිගේ තීරු බදු පැනවීමේ තීරණය අවහිර වන බවයි. එය ඔහුගේ ආර්ථික ප්රතිපත්තිවල ප්‍රධාන කොටසකට විශාල පහරක් වනු ඇති බවද එහි සඳහන්.
ට්‍රම්ප් විසින් පැනවූ බදුවලට ඉලක්ක වූ රටවලින් භාණ්ඩ ආනයන කරන සුළු පරිමාණ ව්‍යාපාරික ආයතන 05ක් විසින් මෙම නඩුව පනවා තිබුණා.
ඒ පිළිබඳ නියෝගය නිකුත් කරමින් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය පවසා ඇත්තේ ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවයි.
කෙසේ වෙතත් ෆෙඩරල් අධිකරණය ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකියි.
ධවල මන්දිරය විසින් ලොව සෑම රටකටම සියයට 10ක බද්දක් මෙන්ම තෝරාගත් එක් එක් රටවලට විවිධ ප්‍රතිශතවලින් බදු පැනවීම සිදු කළා.
එය ලෝක ආර්ථිකයට එල්ල කළේ දැවැන්ත බලපෑමක්.
කෙසේවෙතත් මෙම තීරුබදු ක්‍රියාත්මක කිරීම අප්‍රේල් 9 වන දින සිට දින 90ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කළා.
මෑන්හැටන්හි අමෙරිකානු ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් ඊයේ ලබාදුන් මෙම තීන්දුවෙන් චීනය, මෙක්සිකෝව සහ කැනඩාවට එරෙහිව පැනවූ දැවැන්ත තීරුබදු ක්‍රියාත්මක කිරීම පවා වැලකෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහි දැක්වෙන්නේ මෙම නියෝගයෙන් චීනයට පැනවූ සියයට 30ක තීරුබදු මෙන්ම මෙක්සිකෝවට සහ කැනඩාවට පැනවූ සියයට 25ක තීරුබදු නතර වන බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණය මෝටර් රථ, වාහන අමතර කොටස්, වානේ හෝ ඇලුමිනියම් ආනයනය සඳහා වන සියයට 25ක තීරුබදුවලට බලපෑමක් නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.