Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු දේශපාලනය හදිසියේ උඩුයටිකුරු වෙයි




අමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු වී තිබෙනවා. ඒ, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය නිම වීමට තවත් වසර දෙකක් තිබියදී ඔහුගේ පාලන සමය අභියෝගයට ලක් වීම හේතුවෙන්.

අමෙරිකාවේ මෙවැනි තත්ත්වයක් මතු වූයේ එරට පැවති මධ්‍ය කාලීන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. මේ වන විට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව එරට කොංග්‍රසයේ පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දිනා ගැනීමට රිපබ්ලිකන් හෙවත් අමෙරිකානු විපක්ෂයට හැකි වී තිබෙනවා. 

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් ඇතුළත්. එහි බහුතරය දිනාගැනීමට නම් ආසන 218ක් ලබාගත යුතුයි. එම ඉලක්කය සම්පූර්ණ කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන භූමිකාවක් හොඹවන රිපබ්ලිකන් පක්ෂයට දැන් හැකි වී තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂය ආසන 218ත් 223ත් අතර සංඛ්‍යාවක් දිනාගනු ඇති බවටයි මේ වන විටත් මත පළවී ඇත්තේ.

ඒ අනුව වත්මන් ජනාධිපති ජෝ බයිඩන් බලයේ සිටියදීම ඉදිරි වසර දෙක සදහා අමෙරිකාවේ බෙදුණු ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා. 

ජනාධිපතිවරයා ගෙන එන ඕනෑම යෝජනාවක් හෝ පනතක් පළමුව ඉදිරිපත් වන්නේ එරට පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටයි. එය සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුවහොත් පමණයි. දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ පවතින තත්ත්වය හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉදිරි වසර දෙකක කාලය අතිශය තීරණාත්මක වනු ඇති බවයි.