Saturday, April 27, 2024

General line - 0115112241

වෛද්‍ය, ඉංජිනේරු සහ IT වෘත්තිකයින් රට හැර යයි - සහනයක් දෙන්න ආණ්ඩුවේ අවධානය




බදු ඉහළ නැංවීම හමුවේ රට අතහැර යන වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල වෘත්තිකයින්ට යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසුවේ විවිධ ගැටලු හේතුවෙන් වෘත්තිකයින් රට අතහැර යන තත්ත්වයක් මතුව ඇති බවයි. 

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ තොරතුරු තාක්ෂණ සමාගම්වලට සියයට 30ක බද්දක් පැනවීම සාධාරණ නොවන බවයි. 

මේ අතර ඉදිරියේදී ගුරු සේවයට වෘත්තිකයින් බදවා ගන්නා ක්‍රමවේදය වෙනස් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ.

මේ අතර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා දයාසිරි ජයසේකර අදහස් පළ කළ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊට මැදිහත් වුණා.

අරගලය මර්දනය කිරීමේ ආණ්ඩුවේ සූදානමක් ඇති බවට විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද චෝදනා කළා. 

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද මේ වන විටත් පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙනවා. ඒ, ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ට අදාළවයි.