Friday, May 3, 2024

General line - 0115112241

සම්බාධක ඉවත් කරන්නැයි චීනය, අමෙරිකාවෙන් ඉල්ලයි




ටිබෙටයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් චීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට අමෙරිකාව සම්බාධක පැනවීම  නීති විරෝධී බව චීනය පවසනවා.

එමගින් චීන - අමෙරිකානු සබඳතාවලට බරපතල හානි සිදු වූ බවයි චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ටිබෙටයේ කඳුකර හිමාල ප්‍රදේශයේ වාර්ගික ජනජීවිතයට බලපෑම් එල්ල කිරීම සහ ආගමික කටයුතු පාලනය කිරීමට තමන් දැඩි ප්‍රතිපත්ති භාවිතා කර ඇති බවට එල්ල වන චෝදනා ද තරයේ  ප්‍රතික්ෂේප කරන බව එම අමාත්‍යාංශය සදහන් කළා.

2016 සහ 2021 අතර ටිබෙටයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා වූ Wu Yingjie සහ කලාපයේ ජ්‍යෙෂ්ඨ මහජන ආරක්ෂක නිලධාරියෙකු වන Zhang Hongbo වෙත සම්බාධක පැනවූ බව අමෙරිකාවේ  භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව පවසා තිබෙනවා.

එහි ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ අමෙරිකාවේ ක්‍රියාකලාපය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි මැදිහත්වීමක් සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝනය කිරීමක් බවයි.

සිය නිලධාරින් දෙදෙනාට එරෙහිව පැනවු සම්බාධක වහාම ඉවත් කර ගන්නා ලෙස තමන් ඇමෙරිකාවෙන් ඉල්ලා සිටින ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.

අමෙරිකාවට සෑම අවස්ථාවකදීම වෙනත් රටවලට සම්බාධක පැනවීමට අයිතියක් නොමැති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.