Monday, April 29, 2024

General line - 0115112241

කොවිඩ් ව්‍යාප්තිය නිසා චීනය දැඩි අවධානමක




දිනෙන් දින ඉහළ යමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ රෝහල් පිරී යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි හදිසි අවස්ථා පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයිකල් රයන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි සත්කාර ඒකකද යළි කාර්යබහුල වී ඇති බවයි.

එහෙත් චීන වාර්තාවලට අනුව ඊයේ දිනයේ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු මිය ගොස් නැහැ. කෙසේ වෙතත් රෝහල් වලට ඇතුළත් වන කොවිඩ් ආසාදිතයින් හා දැඩි සත්කාර ඒකක ගතවන ආසාදිතයින්ගේ වැඩි වීමක් ඇති බව චීනය පිළිගෙන තිබෙනවා. 

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට රෝග ව්‍යාප්තිය පාලනයට චීනය දැඩි කොන්දේසි ක්‍රියාත්මක කළා. යළිත් වරක් කොවිඩ් හිස එසවීමත් සමඟ එම දැඩි සීමා යළි ක්‍රියාත්මක කළද ආර්ථිකයට එල්ල වන බලපෑම් සලකා මීට සති දෙකකට පෙර එම සීමා ලිහිල් කිරීමටයි කටයුතු කළේ.

එතැන් සිට කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ ගිය අතර වැඩිම අවධානමකට ලක්ව ඇත්තේ වැඩිහිටියන් සහ අවධානම් කාණ්ඩයේ පිරිසයි. පවතින තත්ත්වය හමුවේ කොවිඩ් සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යා ලේඛන තමන්ට ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

මේ අතර චීනයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් රැල්ල හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රෝග ආවේක්ෂණ කටයුතු ආරම්භ කිරීමටයි ඉන්දියාවද කටයුතු කර ඇත්තේ.