Saturday, May 4, 2024

General line - 0115112241

චීන - රුසියානු හමුදා අභ්‍යාසයක් ගැන අමෙරිකාව අවධානයෙන්




චීනය සහ රුසියාව ආරම්භ කර ඇති ඒකාබද්ධ නාවික අභ්‍යාසය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාව ප්‍රමුඛ අනෙකුත් මිත්‍ර පාර්ශවීය රටවල් ද එම නාවික අභ්‍යාසය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

නැගෙනහිර චීන මුහුදේදී ආරම්භ කළ මතභේදාත්මක චීන - රුසියානු නාවික හමුදා අභ්‍යාසය දෙසැම්බර් මස 21 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පවතින තත්ත්වය අනුව චීනය සහ රුසියාව එක්ව මතභේදාත්මක දකුණු චීන මුහුදු සීමාව තුළ හා පිලිපීන මුහුදේ මෙන්ම නැගෙනහිර චීන මුහුදේ සිදු කරන හමුදාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාවේ ඉන්දු - පැසිෆික් විධානය පවසා තිබෙනවා.

එමෙන්ම සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, නාවික හා ගුවන් කටයුතු නිදහසේ සිදු කළ හැකි පරිදි ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමට හා බාධාවකින් තොරව වාණිජ කටයුතු සහ අනෙකුත් ක්‍රියාකාරකම් සදහා සහය ලබාදීම වෙනුවෙන් කලාපය තුළ සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද අමෙරිකානු හමුදාවේ ඉන්දු - පැසිෆික් විධානය සදහන් කළා.

එමෙන්ම කලාපය තුළ සිටින සිය හවුල්කරුවන්ට සහ මිත්‍ර පාර්ශවීය රටවල් සදහා එල්ල කරන ඕනෑම ආකාරයක හමුදාමය බලපෑමක් සදහා තරයේ විරුද්ධ බව ද අමෙරිකානු හමුදාව අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් චීනය හා රුසියාව පවසන්නේ දෙරට අතර පවතින නාවික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හා ආසියානු - පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අරමුණින් මෙම නාවික හමුදා අභ්‍යාසය සිදු කරන බවයි.

ඒ සදහා කාලතුවක්කු මෙන්ම සම්බැරීන නාශක අවි ද භාවිත කිරීමට සැලසුම් කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.