Monday, April 29, 2024

General line - 0115112241

පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමටත් අවධානය




පොලිස් ආඥා පනතෙහි අඩුපාඩු හදුනා ගැනීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු තුනක් පත් කර තිබෙනවා.

එම කමිටු විසින් ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ  දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.

පොලිස් ආඥා පනත සංශෝධනය කරන ලෙස 2010 වසරේ සිට විවිධ අවස්ථාවන්හිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර මෙම පනත සංශෝධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබා දී තිබුණා. 

ඒ අනුව ඊට අදාල සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඊට නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම් මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.