Monday, April 29, 2024

General line - 0115112241

නත්තලට සිරකරුවන් 309කට නිදහස




නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් 309 දෙනෙකුට ජනපති විශේෂ සමාව හිමිව තිබෙනවා. ඒ අතර කාන්තාවන් තිදෙනක්ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔවුන් සියලු දෙනා හෙට දිනයේ බන්ධනාගාරවලින් නිදහස් කරන බවද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සියලු සිරකරුවන්ට විශේෂ සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.

 ඒ අනුව ගෙවමින් සිටින දඩ දඬුවම අහෝසි වීම මත නිදහස් වන සිරකරුවන් ගණන 237ක්. මාසයක සමා කාලයක් අඩු වීම මතද සිරකරුවන් 71 දෙනෙකුට හෙට දිනයේ  නිදහස හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

කෙසේ වෙතත් නිදහස හිමිවන තවත් සිරකරුවන් 61 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනවා. ඔවුන්ට එරෙහිව තවත් නඩු විභාගවීම ඊට හේතුව බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක වැඩිදුරටත් පැවසුවේ.