Sunday, May 12, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය හමුවේ පකිස්තානය සිය විදෙස් වත්කම් වෙන්දේසි කරයි




රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පකිස්තානය විදේශ රටවල ඇති සිය වත්කම් පවා විකුණා දැමීමට පියවර ගෙන තිබෙනවා.
 
ඒ අනුව අලෙවියට ප්‍රසිද්ධ කර ඇති අමෙරිකාවේ ඇති පකිස්තානය සතු වත්කම් සදහා ලන්සු 03 ක් ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් වැඩිම ලන්සුව ඉදිරිපත් කර ඇත්තේ යුදෙව් කණ්ඩායමක් විසින්.

අමෙරිකාවේ පිහිටි පකිස්තාන තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශය පිහිටි ඉපැරණි  ගොඩනැගිල්ලක් ද ගැනුම්කරුවන් සදහා ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වැඩිම ලන්සුව ඉදිරිපත් වී ඇත්තේ එම ගොඩනැගිල්ල සදහා බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියානු දේපළ වෙළදාම් නියෝජිතයෙකු ද ඒ සදහා ලන්සු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 05 කටයි.

පකිස්තානයේ දේපළ වෙළදාම් සමාගමක් ද අදාල ගොඩනැගිල්ල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4 ක ලන්සුව තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් පකිස්තාන - අමෙරිකානු දේපළ වෙළද නියෝජිතයන් පවසන්නේ වැඩිම ලන්සුව වෙනුවෙන් ගොඩනැගිල්ල අලෙවි කරන බවයි.

කෙසේවෙතත් පකිස්තානය සතු විදේශීය වත්කම් විදෙස් රටවලට විකුණා දැමීම සම්බන්ධයෙන් පකිස්තානය තුළින්ම දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එවන් පසුබිමක් තුළ පකිස්තාන රජය වොෂිංටනයේ පිහිටි සිය රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිලි ත්‍රිත්වයෙන් එකක් අනිවාර්යයෙන් අලෙවි කරනු ඇති බවයි වාර්තා වන්නේ.