Sunday, April 28, 2024

General line - 0115112241

බ්‍රසීල ජනපති මැදුරට කඩා වැදුණු 300ක් අත්අඩංගුවට




බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණයට හා කොන්ග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී විරෝධතාවල නිරත වූ 300කට ආසන්න පිරිසක් එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී විරෝධතාවලට එක් වූ අවසාන සාමාජිකයා හඳුනාගන්නා තෙක් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි බ්‍රසීල පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඉකුත් ඔක්තොම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිනොගන්නා බව පවසමින් හිටපු ජනපති ජායිර් බොල්සනාරෝගේ ආධාරකරුවන් එරට රජයේ ගොඩනැගිලි වලට කඩා වැදී එහි තිබූ දේපළවලටද දැඩි හානි කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සිද්ධිය ලෝක නායකයින් රැසක් මෙන්ම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද හෙළා දැක තිබෙනවා. 

මේ අතර බ්‍රසීලයේ හිටපු නායක ජායිර් බොල්සනාරෝගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණයට හා කොන්ග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙවැනිම ආකාරයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමට දැරූ උත්සහයන් ශ්‍රී ලංකාවද අත්දුටු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.