Thursday, May 9, 2024

General line - 0115112241

ශානකගේ දුවද්දී දැවී යෑම ඉල්ලා අස්කර ගත් ඉන්දීය නායකයාට දසතින් හරසර




ඊයේ පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකට එරෙහිව ‘මන්කාඩ්’ දුවද්දී දැවී යාමේ අභියාචනයක් ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මාට ක්‍රිකට් ලෝකයේ වැඩි ගෞරවයක් හිමිව තිබෙනවා.

ගුවහාටි හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය යවමින් සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි සිය පන්දු යැවීමේ අන්තයේ සිටි දසුන් ශානක ‘මන්කාඩ්’ දුවද්දී දැවී යාමකට හසුකර ගන්නා විට ඔහු ලකුණු 98ක් ලබා සිටියා.

එම දැවීයාමේ ඉල්ලීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරයා තෙවන විනිසුරුවරයාගේ තීරණයට යොමු කිරීමත් සමග ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ පන්දු යැවු මොහොමඩ් ෂාමි එම ඉල්ලීම ඉවත් කර ගනු ලැබුවා.

ඉන් පසුව දසුන් ශානක සිය දෙවන එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර තරගය අවසානයේදී ඔහුට ඉන්දීය ක්‍රීඩකයින් සුබ පැතුම් එක් කර සිටියා.

කෙසේ වුවද තරගයෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියා,

“අපිට එයාව එහෙම දවා ගන්න බෑ. අපිට ඕන උනේ එයාව දවා ගන්න. අපි හිතුවා එයාව දවා ගන්නවා කියලා, ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි.
නමුත් නැවතත්, ඔහුට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා." රෝහිත් ෂර්මා කියා සිටියා.

කෙසේ වුවද මෙම සිදුවීමේදී ඉන්දීය නායකයාගේ ක්‍රීඩාශීලිත්වය සම්බන්ධයෙන් සනත් ජයසූරිය ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

' සැබෑ ජයග්‍රාහකයා දුවද්දී දැවී යෑම ප්‍රතික්ෂේප කළ රෝහිත් ෂර්මා ගේ ක්‍රීඩාශිලිත්වයයි. මම ඔබට ආචාර කරනවා' යනුවෙන් ට්විටර් පණිවිඩයක් තබමින් සනත් ජයසුරිය සඳහන් කර සිටිනවා.

මේ අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ බොහෝ නායකයින් මෙවැනි දෙයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් දුවද්දී දැවී යෑමේ ඉල්ලීම ඉල්ලා අස්කර ගනිමින් රෝහිත් ෂර්මා දැක්වූ ක්‍රීඩාශීලිත්වයට සැබෑ ලෙස ගරුකරන බවයි.