Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය යොවුන් පිතිකරුවෙකුගෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්




එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ ලාබාලතම ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය යොවුන් පිතිකරු ශුබ්මන් ගිල් ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, නවසීලන්තය සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී.

එහිදී ශුබ්මන් ගිල් පන්දු 149කදී 6හේ පහර 9ක් සහ 4රේ පහර 19ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 208ක්. ඔහු මෙම ද්විත්ව ශතකය රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 145ක්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ ඉකුත් වසරේ දෙසැම්බ්ර් මාසයේදී අවුරුදු 24යි දින 145ක් වයසැති ඉන්දීය පිතිකරුවෙකුම වූ ඉෂාන් කිෂාන් ලකුණු 210ක් රැස් කරමින් බිහි කර තිබූ ලෝක වාර්තාවයි.

එමෙන්ම මෙම තරඟයේදී එක්දින ලකුණු දහසේ සීමාව පසුකර යාමට සමත් වූ අතර ඒ සඳහා ඔහු වැය කර තිබුණේ ඉනිම් 19ක් පමණයි. එය සැලකෙන්නේ ඉන්දීය පිතිකරුවෙකු අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක් දින ලකුණු දහසේ සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ලෙසයි.

මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 349ක් රැස් කළ අතර නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 337ක් පමණයි. ඉන්දියාවට ප්‍රබල සටනක් ලබා දුන් නවසීලන්තයේ මිචෙල් බ්‍රේස්වෙල් පන්දු 78කදී 6යේ පහර 10ක් සහ 4රේ පහර 12ක් සමඟ ලකුණු 140ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.