Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට එරෙහි අතුරු නියෝගය දීර්ඝ කෙරේ




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරී පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවන ලෙස දන්වා නිකුත් කළ අතුරු නියෝගය හෙට දින තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී යැයි සදහන් කරමින් එහි  හිටපු සභාපති ජස්වර් උමර් ගොනු කල රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුනා. ඉන් අනතුරුව වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබූ අභියාචනාධිකරණය අදාළ තහනම් නියෝගය හෙට දින දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කළා.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකරමින්  මෙම පෙත්සම ප්‍රතික්ෂේප කර ලෙස ඉල්ලා සිටියා.

පෙත්සම්කරුට එරෙහිව ක්‍රීඩා විමර්ශන කමිටුව මගින් අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කළ බවත් ඊට එරෙහිව පෙත්සම්කරු අභියාචනා ඉදිරිපත් නොකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

එබැවින් ඔහුට පාපන්දු සම්මේලනයේ තනතුරු සඳහා  නාමයෝජනා ඉදිරිපත් කිරීමට සුදුසු කමක් නොමැති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. ඒ අනුව මෙම පෙත්සම නීතිමය පදනමක් නොමැති පෙත්සමක් බවත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියා.

පාපන්දු සම්මේලනය සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම තහනම් නියෝගය දීර්ඝ කරනු ලැබූවහොත් පාපන්දු පරිපාලනය කඩා වැටීමට ඉඩකඩ තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.