Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක්




පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අවසන් වු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට  "බෝන් අගේන්" ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අභියාචනාධිරණයට දැනුම් දුන්නා.

අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් එම දැනුම් දීම සිදු කළා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එම අධ්‍යයනයෙන් අනතුරුව නීතිපතිවරයා සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමට නියමිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව අදාළ පෙත්සම පෙබරවාරි මස 01 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය නියම කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට "බෝන් අගේන්" ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.