Tuesday, May 7, 2024

General line - 0115112241

විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගිතා කොමිසමේ බහුතර එකඟතාවක් - සභාපති පමණක් තනිවෙයි




විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමූහික තීරණය වෙනස් වී තිබෙනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු කෙරුණා. කැබිනට් මණ්ඩලයේ අනුමතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බවයි එහිදී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම සාකච්ඡාවට පෙර කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසු විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාමූහික තීරණය වෙනස් වී ඇති බවයි. 

කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් නීතියේ සහය පතන බවයි ඔහු පැවසුවේ. 

ඊයේ පැවති ජාතික සභාවේදී අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂම සාකච්ඡා කොට විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු බවයි.

එබැවින් එම සාකච්ඡාවන් සිදු කර ලබන 24 දින නැවත මෙම සියලු පාර්ශව ජාතික සභාව වෙත කැදවීමට මෙහිදී තීරණය කර තිබෙනවා.