Wednesday, May 8, 2024

General line - 0115112241

13 ගේන්න ඉන්දියාව පළාත් සභා ඡන්දයත් ඉල්ලයි




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. මෙහිදී දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලබා දී තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. එහිදී ඔහු පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණයට සියලුම ද්විපාර්ශවික ණය හිමියන් සහය විය යුතු බවයි. 

ශ්‍රී ලංකාව තුළ දැවැන්ත පුනර්ජනනීය බලශක්ති හැකියාවක් පවතින බව එහිදී පැවසූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවෙකු ලෙස ඉන්දියාවට කටයුතු කළ හැකි බවද ප්‍රකාශ කළා. අද දිනයේ පුනර්ජනනීය බලශක්ති සහයෝගිතා රාමුවක් සඳහා ප්‍රතිපත්තිමය තීරණයකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹි බවයි ඔහු පැවසුවේ. 

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය බෙදීමටද විසඳුමක් අවශ්‍යයි. එහිදී 13වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් වැඩිදුරටත් පවසා තිබෙනවා.