Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව ගැන තීරණාත්මක තීන්දුවක් අද ?




ආසියානු කුසලානය ජයග්‍රහණය කර මාස හතරක් ගත වෙමින් පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බවත් එහිදී වත්මන් සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ප්‍රමෝදය වික්‍රමසිංහ 2021 අප්‍රේල් මාසයේ සිට තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් රැසකට අවස්ථාව ලබාදුන් තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්  එක්දින සංචිතයෙන් විවේක ගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එවකට මිකී ආතර් කටයුතු කරනු ලැබූ අතර වත්මන් පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් කටයුතු කරනු ලබනවා. 

පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දේශීයව පැවති දකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් වලට එරෙහි එක්දින තරගාවලියන් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මීට මාස 04කට ඉහතදී ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුවා.

එමෙන්ම ICC ටෙස්ට් ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවා.

කෙසේ වුවද මෙම වසර ආරම්භයේදීම ශ්‍රී ලංකා පිල ඉන්දීය සංචාරයේදී දැක්වූ අඩු දක්ෂතාවයන් නිසා ක්‍රිකට් තේරීම් කමිටුව පිලිබදව වැඩි අවදානයක් යොමු වී තිබෙනවා.

මේ අතර අර්ජුන රණතුංග සභාපති ධුරය දරන ජාතික ක්‍රීඩා කවුන්සිලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කිරීම සඳහා ප්‍රමෝදය වික්‍රමසිංහ ගේ නම ඇතුළුව සාමාජිකයින් 10 දෙනෙකුගේ නම් ඒවා ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජාතික ක්‍රීඩා කවුන්සිලය මෙම මස 30 වෙනිදා රැස්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.