Friday, April 26, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි




අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 8 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 08 වන දා කැඳවන ලෙසයි. එදින මෙම නඩුවට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණය මහජන උපයෝගීතා කොමිසමට අවසර ලබා දුන්නා.

මේ අතර ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සා මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ජුලි මස 14 වනදා සිදු කිරීමට තීන්දු කළා.

එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින විභාග කොමසාරිස්වරයාට යළි නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් විසින් මෙම පෙත්සම ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් ලබා දුන් බවයි.

එම ප්‍රතිඥාව කඩකරමින් වගඋත්තරකරුවන් විදුලි බලය කප්පාදු කිරීම නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු කියා සිටියා.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.