Wednesday, May 8, 2024

General line - 0115112241

මරණය මතින් නැවත ජීවය ලද සිරියානු පවුල (VIDEO)




දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ල තුල සිරවී සිටි දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් සිව්දෙනා ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්වූ බවයි.

මේ වන විට භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8,000 සීමාව ආසන්නයට ලඟා වෙමින් සිටින බවයි සහන සේවකයින් පවසන්නේ.

භූමිකම්පාවෙන් විපතට පත්ව ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 6,000ක ගේ පමණ දිවි ගලවා ගැනීමට සහන සේවකයින් මේ වන විට සමත්ව ඇත. කෙසේ වුවද බලපා ඇති සීත කාලගුණය හේතුවෙන් සිරවී සිටින පුද්ගලයින් ගේ සෞඛ්‍ය තත්ත්වය තවත් අයහපත් වීමේ අවදානමක් ඇති නිසා මේ වන විට කාලයත් සමග සටන් කිරිමට සිදුව ඇති බවයි සහන සේවකයින් පවසන්නේ.

මේ අතර තුර්කි රජයට එරෙහිව එරට ජනතාව දැඩි විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ මිට වසර 24 කට පෙර හඳුන්වා දුන් "භූමිකම්පා බද්ද" හේතුවෙන්.

1999 වර්ෂයේදී වයඹ දිග තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්වූ පසු මෙම භූමිකම්පා බද්ද හඳුන්වා දීමට තුර්කි රජය පියවර ගනු ලැබූ බව සඳහන්. ඒ සොභාවික ආපදා වැළැක්වීම සඳහා වියදම් කිරීමේ අරමුණින්.

අමෙරිකානු ඩොලර් බිලියන 4.6ක මුදලක් ඒ සඳහා එක්ව තිබෙන බවත් එම මුදල් වියදම් කරන ආකාරය තුර්කි රජය කිසිවිටෙක ප්‍රසිද්ධියේ පැහැදිලි කර නොමැති බවයි එරට ජනතාව විරෝධය පළකරමින් ප්‍රකාශ කර සිටින්නේ.