Friday, May 10, 2024

General line - 0115112241

අලුත් බදු සංශෝධනයේ වාසියත් දේශපාලනඥයින්ටද ? වෘත්තිකයින්ට සැකයක්




අසාධාරණ බදු සංශෝධන ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ක්‍රියාත්මක කළ පැය 24 ක සංඛේත වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ එම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු සංගම් සහයෝගය පළ කළ බවයි.

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අය කිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නව චක්‍රලේඛය සම්බන්ධයෙන් ද වෛද්‍ය චමිල් විජේසිංහ මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එම සංශෝධනය මඟින් යම් සහනයක් හිමිවන්නේ සුළු පිරිසකට පමණක් බවයි.

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අය කිරීම සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ කථිකාචාර්ය නදීෂ් ද සිල්වා ද අදහස් පළ කළා.

මේ අතර උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03 ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති පවසනවා. 

මේ අතර වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් ඊයේ සිට සංශෝධනය කෙරුණා. ඒ, නිවාස, රථ වාහන, සහනදායී ණය පොලී සහ දුරකතන ක්ෂේත්‍රවලට අදාල වන පරිදියි. ඒ අනුව නිවාස ප්‍රතිලාභ හිමි සේවකයෙකු සඳහා වරිපනම් බදු ගෙවන ප්‍රදේශයක නිවාසයක් ලබාදී ඇත්නම් එම නිවස වෙනුවෙන් බදු සදහා අදාළ වන්නේ සේවකයාගේ වැටුපෙන් සියයට 12 යි දශම 5 ක ප්‍රතිශතයක් පමණයි.

වරිපනම් බදු නොගෙවන ප්‍රදේශයක නිවාසයක් හිමිවී තිබේ නම් වැටුපෙන් සියයට 10ක ප්‍රතිශතයක් අයකරගනු ඇති. නිවාස ප්‍රතිලාභ හිමි සේවකයෙකු වතු බංගලා පහසුකම් භුක්ති විදින්නේ නම් සේවකයාගේ වැටුපෙන් සියයට 7 යි දශම 5ක ප්‍රතිශතයක් මේ සදහා අදාළ වනු ඇති. ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් සියයට 2 යි දශම 5 ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සේවායෝජකයා විසින් ලබාදෙන මෝටර් රථ, ඉන්ධන සහ දුරකථන පහසුකම් සඳහා වන බදු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මෝටර් රථයක් සැපයීමේදී මෝටර් රථය සඳහා රුපියල් 50,000 ක මුදලක් ආදායම් බදු සදහා අයකර ගනු ඇති. ඉන්ධන දීමනාව වෙනුවෙන්ලබාදෙන මුදලින් සියයට 100 ක් මීට පෙර ආදායම් බදු සඳහා සලකා බැලු නමුත් නව සංශෝධනය මඟින් එය සියයට 25 ක් දක්වා අඩු කර තිබෙනවා.

සේවකයෙකු සඳහා ලබාදෙන දුරකථන දීමනාවෙන් සියයට 50ක ප්‍රතිශතයක් පමණක් නව ආදායම් බදු සදහා අයකර ගැනීමට නියමිතයි. සේවායෝජකයා විසින් සපයන සහනදායි අනුප්‍රමාණ මත ණය සැපයීමේදී එය බදු අයවීමෙන් නිදහස් කර තිබෙනවා.