Monday, May 6, 2024

General line - 0115112241

ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරඟයට එන්න ශ්‍රී ලංකාවටත් අවස්ථාවක්




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙවන වරටත් සංවිධානය කරන ටෙස්ට් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ දිනය සහ ක්‍රීඩාංගණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අවසන් තරඟය ජුනි 07 සිට 11 දක්වා දිනවල ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති. කෙසේවෙතත් අවසන් තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කවුරුන්දැයි මෙතෙක් ස්ථිරවී නැහැ.

ඒ සඳහා කණ්ඩායම් 4 ක් අතර මේ වන විට තියුණු සටනක් පවතිනවා. එම කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාවද අයත්. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සෙසු කණ්ඩායම් වනවා.

ටෙස්ට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඕස්ට්‍රේලියාව පළමු ස්ථානයේත්, ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ තුන්වන ස්ථානයේයි. දකුණු අප්‍රිකාව සිව්වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට නම් නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ දෙක ජය ගැනීම අතිශය වැදගත්.

එමෙන්ම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද සිට තරඟ හතරකින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට එක්වනවා. එහි ප්‍රතිඵලද අවසන් මහා තරඟයට සුදුසකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට වැදගත් වනු ඇති. මීට අමතරව දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අතර ටෙස්ට් තරඟ දෙකක් ද පැවැත්වීමට නියමිතයි.