Tuesday, May 7, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම ගැන හොයන්න මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවක් ඉල්ලයි




මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.

එහි යම් යම් කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩව ඇති බවත් එම කරුණ පාදක කර ගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් ඉල්ලා පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනුයි එම ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇත්තේ.

මිලාන් ජයතිලක ,සහන් ප්‍රදීප්, සුදර්ශන දෙනිපිටිය, කෝකිලා ගුණවර්ධන , තිස්ස කුට්ටිආරච්චි, උපුල් රාජපක්ෂ ඇතුලු මන්ත්‍රීවරුන් 14කු එම ලිපියට අත්සන් කර තිබෙනවා. 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇති බවත්, එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පූර්ව කොන්දේසි පිළිබඳව ද සෑහීමකට පත්වීමට නොහැකි බවත් ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි මන්ත්‍රිවරුන් එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.