Tuesday, May 7, 2024

General line - 0115112241

20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් ජයක්




දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස් කළා. ශොභානා මොස්ටරේ පන්දු 32කදී ලකුණු 29යි. පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා. 

ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු හර්ෂිතා සමරවික්‍රම පන්දු 50කදී නොදැවී ලකුණු 69ක් රැස් කළා. ඒ, 4රේ පහර 8ක් සහ එක් 6හේ පහරක් සමඟයි.

ඇයට අනගි සහයක් ලබා දුන් නිලක්ෂිද සිල්වා පන්දු 38කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්. මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක ජයක් වාර්තා කළා.

ඒ අනුව, 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් මේවනවිට එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා.