Saturday, May 18, 2024

General line - 0115112241

විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඕස්ට්‍රේලියාවට




හය වන වරටත් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග කේප් ටවුන්හිදි පැවති 2023 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ලකුණු 19කින් ජය ගනිමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා. බෙත් මූනි පන්දු 53කදී නොදැවී ලකුණු 74ක් රැස් කළේ හතරේ පහර 9 ක් සහ එක් හයේ පහරක් සමගයි. 

ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසන් වනවිට කඩුළු 6 ක් දැවී රැස් කර  ගැනීමට හැකි වුයේ ලකුණු 137 ක් පමණයි. ලෝරා වොල්වා(ර්)ඩ් පන්දු 48කදී ලකුණු 61ක් රැස්කළද එය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ. 

මෙම ජයග්‍රහණයත් සමග අවසන් වරට පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනම පිටපිටම ජයගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ජය ගැනීමද විශේෂත්වයක්. 2010, 2012 සහ 2014 යන වසරවල පැවති විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි 3ම පිට පිට ජයගත්තේද ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.