Saturday, May 4, 2024

General line - 0115112241

තුර්කියේ තවත් භූකම්පනයක්




නැගෙනහිර තුර්කියේ මලට්යා ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එය මීට පෙර බලපෑ භූ කම්පන හමුවේ ද දැඩි බලපෑම් එල්ල වී තිබූ ප්‍රදේශයක්. එම භූ කම්පනයේ බලපෑමෙන් එක් අයෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හමුවේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර ඒවා මීට සති කිහිපයකට පෙර ඇතිවූ භූ කම්පන හේතුවෙන් හානියට පත්ව තිබූ ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ.

කඩා වැටුනු ගොඩනැගිලි අතර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක් වන බවත්, එහි පියෙක් සහ දියණියක් සිරව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔවුන් දෙදෙනා තමන්ට අයත් භාණ්ඩ එක් රැස් කිරීම සඳහා හානියට පත්ව තිබූ ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සහන කණ්ඩායම් විසින් අදාළ පුද්ගලයා මුදා ගත් බවට වාර්තා වන නමුත් දියණිය මුදා ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර තුර්කියට හා සිරියාවට මේ මස මුලදී බලපෑ භූ කම්පන හමුවේ මියගිය පුද්ගලයින් ගණන 50,000 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.