Saturday, May 4, 2024

General line - 0115112241

ගුවනේ සැරිසරන පුටින්ගේ ඇසට එල්ලවූ නොසිතු ප්‍රහාරය (VIDEO)




යුක්රේන ආක්‍රමණය ආරම්භ කොට වසරක් ගතවන තැන රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් ජනාධිපතිවරයාට සිදුවූ බරපතලම අලාභ හානිය සිදුකිරීමට බෙලරූස් හි සිටින යුක්රේන හිතවාදීන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඒ රුසියානු ආරක්ෂක අංශ සතුව තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 274ක් වටිනා ඔත්තු බලන ගුවන් යානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් වීම විශේෂත්වයක්.

A-50U නම් වූ මෙම ඔත්තු බලන ගුවන් යානය මින්ස්ක් ගුවන් තොටුපොළ වෙත ගොඩබා ඇති අවස්ථාවක දී මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

යුක්රේනයට සහය දක්වන බෙලරූස් ආණ්ඩු විරෝධී සටන්කාමීන් පිරිසක් විසින් සිදුකළ රහසිගත මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ.

මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයින් දෙදෙනා මේවන විටත් බෙලරූස් රාජ්‍ය අත්හැර ගොස් ඇති බවයි එම සටන්කාමින් සඳහන් කර සිටින්නේ.

එම සටන්කාමින් දෙදෙනා විසින් මෙහෙයවනු ලැබූ ඩ්‍රෝන යානා දෙක උපයෝගී කර ගනිමින් රුසියානු ඔත්තු බලන යානයේ ඉදිරිපස කොටසට සහ ඔත්තු බලන ඇන්ටනාව පුපුරුවා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නේටෝ සංවිධානය විසින් රුසියානු ඔත්තු බලන ගුවන් යානය “Mainstay” නමින් හඳුන්වනු ලබන අතර එය ගුවන් විධාන පාලක මෙහෙයුම් පද්ධතියක්‌ මෙන්ම වරකට ඉලක්ක 60ක් හඹා යෑමේ හැකියාවෙන් යුක්ත වේ.

අඩි 33කින් යුත් ෂ්මෙල් රේඩාර් පද්ධතියක් සහිත මෙම රුසියානු ඔත්තු බලන ගුවන් යානය මගින් යුක්රේනය තුල බෝම්බ හෙලීමට අවශ්‍ය ඉලක්ක හඳුනා ගැනීම සිදුකර ඇත.

රුසියාව සතුව මෙවැනි ඔත්තු බලන ගුවන් යානා 06ක් පවතින අතර එම යානා ගුවන්, ගොඩබිම් සහ නාවුක ඉලක්ක හඳුනා ගැනීම සහ ඒවා ලුහුබැදීම සිදුකෙරේ.

එලෙස හඳුනා ගන්නා ඉලක්ක පිලිබඳ දත්ත සෘජුවම ප්‍රහාරක ජෙට් යානා සහ මෙහෙයුම් මැදිරි වෙත සම්ප්‍රේෂණය සිදුකිරීමට මෙම ඔත්තු බලන යානාවලට හැකිය.